All Posts

    Sunday, March 4, 2018

    බස් ප්‍රවාහන සේවාව




    මෙම ලිපිය පහත පෙර ලිපිය හා සබැඳේ...

    රුසියාව, ජපානය, චීනය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ සිහින



    බස් රථයේ රියදුරු අසුන ඇත්තේ සාමාන්‍ය මෝටර් රථ වල රියදුරු අසුන ඇති උස මට්ටමිනි. මෙහි වාසි සෑහෙන ප්‍රමාණයක් මට පෙනේ. බස් රථයේ රියදුරු මහතාට අනෙකුත් වාහන, පදිකයන්, බසයට ගොඩ වීමට සිටින මගීන්, බසයෙන් බැස යන මගීන් බසය ඉදිරිපසින් මාරු වන වාහන සහ මගීන් ඉතා හොඳින් දර්ශනය වේ. මෙය වඩාත් හොඳ සේවාවක් සැපයීමට මෙන්ම අනතුරු අඩු කර ගැනීමට මහත් පිටිවහලකි. අනෙක් අතින් ගත් කල අනතුරුදායක ලෙස බස් රථය පැදවූවහොත් අනිවාර්යෙන් රියදුරු මහතාද තුවාලවීමට ඉඩ ඇති නිසා ඔහුද බස් රථය ප්‍රවේශමෙන් ධාවනය කිරීමට උනන්දු වේ.


    බස් රථයේ ඉදිරිපස සහ මැද සෑහෙන පළලකින් යුතු දොර දෙකක් වේ. අධික ලෙස මගීන් නොමැති අවස්ථාවලදී ඉදිරිපස දොර මගීන් ගොඩ වීමටත් මැද දොර මගීන් බැසීමටත් භාවිත් වුවද කාර්ය බහුල වේලාවන්හිදී දොර දෙකම මගීන් බැසීමට භාවිතා වේ. දොරවල් දෙකෙන්ම රෝද පුටු ඇතුළු කර ගැනීමට දිගහැරීමට හැකි ආනත තලයක් හකුලා සවි කර ඇත. බස් රථයට ගොඩ වූ විටත්, මැද හරියට වන්නට රෝද පුටු තබාගෙන යාමටත් කුඩා දරුවන් සහිත ප්‍රෑම් තබාගෙන යාමටත් වෙනම ඉඩක් ඇත. එම අවශ්‍යතාවයන් නැති විට එම ඉඩෙහි දිග ඇරීමට හැකි ආසන සවි කර ඇත. බස් රථයට ගොඩ වීමට උදවු අවශ්‍ය මගියෙක් ගොඩ වන විට සහ බසින විට බස් රථයේ රියදුරු මහතා බසයෙන් බැස විත් උදවු සපයයි. එසේ නැතහොත් බොහෝ විට මගියෙකු උදවු කිරීමට ඉදිරිපත් වේ.බසයෙන් බැසීමට ඕනෑ වූ විට කණු වල සවි කර ඇති බොත්තම තද කළ හැක. එවිට ඊළඟ නැවතුමේ බස් රථය නවතන බව සංඥ්ඥාවක් දැල්වේ.


    බොහෝ බස් රථ නැවතුම් වල වහලයක් සහ වාඩි වීමට පුටුවක් ඇත. බස් රථය නවතන ස්ථානයේ එම ස්ථානයේ නවතන බස් රථවල නොම්මර සහිතව කනුවක් සිටුවා ඇත. එම කණුවේම දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ ධාවනය වන බස් රථ කාල සටහන දක්වා ඇත. අවශ්‍ය නම් විස්තර දැන ගැනීමට දුරකථන අංකයක්ද දක්වා ඇත. එම ස්ථානයේ අන්ධ පුද්ගලයන්ට බසයේ දොර ඇති ස්ථානය සොයාගැනීමට හැකි පරිදි පේව්මන්ට් එකේ විශේෂිත ගල් අල්ලා ඇත. සෑම විටම බස් රථය නවත්වනුයේ ඉදිරිපස දොර මෙම ස්ථානයට එන පරිදිය.


    සෑම බස් නැවතුමකම සම්මත ප්‍රමාණයක ඇඩ්වර්ටයිසිං කිරීමට බෝඩ් සවි කර ඇත. මේවායේ දර්ශනය වන දැන්වීම් නිතරම ඉතා පහසුවෙන් මාරු කරනු ලබයි. මෙමගින් ලැබෙන ආදායම බස් රථ සේවාව සහ ඊට අදාල බස් නැවතුම් වැනි වෙනත් දේපළ හොඳින් පවත්වාගෙන යාමටත් රුකුලකි.


    සෑම බස් රථ නැවතුමකම විදුලි බුබුලක් සවි කර ඇත. එකතරා කාලයකට වරක් සියළු බස් නැවතුම් පිරිසිඳු කරනු ලැබේ. වාඩි වන පුටු ආදී සියල්ල සෝදා පිරිසිඳු කරයි. මෙමගින් මගීන්ට යහපත් සේවාවක් සැලසෙන අතරම වෙළඳ දැන්වීම් ප්‍රචාරකයන්ටද ගෙවන මුදලට සරිලන සේවාවක් සැපයෙයි. ඊටත් අමතරව මෙය අමතර රැකියා උත්පාදනයක්ද වෙයි. බොහෝ බස් නැවතුම් අසල කසල එකතු කරන විශාල බඳුන්ද සවි කොට ඇත. මේ සියල්ල මගින් එම ස්ථානයද ප්‍රියමනාප ස්ථානයක් බවට පත් වේ.


    සෙනග එතරම් නොගැවසෙන බස් නැවතුම වල නම් ආවරන නැත. සමහරක් බස් ගමන් මාර්ග වල බස් රථ නැවතුම් වලට නොම්මරද යොදා ඇත. කාගෙන්වත් අහන්නේ නැතුව තනිවම බසින ස්ථානය දැන ගැනීමට මෙය ඉතා වටනේය.


    බස් රථයට ගොඩ වූ විගස මුදල් ගෙවීමට ඇත්තේ කනු වලට සවි කළ මැෂින්‍ය. මුදල් කාඩ් පත ඊට ලං කළ විට අදාල මුදල කැපේ. සමහර පළාත් වල නම් තවමත් කඩදාසි ටිකට් පත් එම මැෂිමට ඇතුළු කළ හැක. නමුත් එම ක්‍රමය දැන් නැති වේගෙන ගොස් පෙර ගෙවුම් කාඩ් පත පමණක් භාවිතා වේ. මෙම කාඩ් පතට මුදල් දැමීමට ඒජන්සි ඇත. එසේත් නැති නම් මෙම කාඩ් පත ඔන්ලයින් රෙජිස්ටර් කළ හැක. එසේ කළ පසු කාඩ් පතට ඔටෝමැටික් මුදල් දැමීමට කාඩ් පත සහ අපෙ බැංකු ගිණුමක් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් ඊට යෙදිය හැක. බසයට නගින විට කාඩ් පත ටච් ඕන් කළ යුතු අතර බසයෙන් බසින විට කාඩ් පත ටච් ඕෆ් කළ යුතුය. කාඩ් පත රෙජිස්ටර් කළ විට අපේ ගිණුමෙන් අපේ සියළු ගමන් තොරතුරු බලාගැනීමටද පුළුවන. ටිකට් පරීක්ෂක ඔෆිසර්ලා ද එලෙක්ට්‍රික් මැෂිමකින් අප ටච් ඕන් කරළාදැයි ඇතැම්විට සොයා බලයි.


    අනෙක් හොඳම දේ බස් රථ පැදවීම වගකිව යුතු පිළිගත් හොඳ රැකියාවකි. රජය එක් එක් පළාත් වල බස් රථ සේවා පවත්වාගෙන යාමට පුද්ගලික කම්පැණි වලට කොන්ට්‍රැක්ට් බාර දී ඇත. ගිවිසුම් ප්‍රාකාරව ඔවුන් සේවාව පවත්වාගෙන යා යුතුය. මේවා එකේක පුද්ගලයන් නොව කම්පැණි නිසා අනවශ්‍ය තරඟයක් ඇති නොවේ. නියමිත කාලසටහනට හොඳ සේවාවක් පවත්වාගෙන යයි. වසරකට ලැබෙන මුදල ඔවුන් දන්නා නිසා සල්ලි එකතු කිරීමට තරඟයක් නැත. ඒ ඇරත් පෙර ගෙවුම් කාඩ් පත් නිසා බස් රථයට මුදල් අතපත ගෑමට නොලැබේ. රෑ 10ට 11ට වුවද පැකිළීමකින් තොරව බස් රථ සේවා පවතියි. ඒ වෙලාවට කරන ගෙවීම් වැඩි නිසා රියදුරු මහත්වරුද සෙනග නොසිටියත් සේවාවට වාර්තා කිරීමට කැමතිය. රියදුරු මහත්වරුන්ටද කම්පැණියකට වැඩ කිරීම ඉතා වටනේය. ඔවුනට මාසික පඩියක් ලැබේ. අර්ථසාධක අරමුදලකට මුදල් යැවේ. ඒ කම්පැනිය එපා නම් වෙන එකකට යාමට පෙන්වීම සඳහා ස්කිල් එකක් ලැබේ. ස්ථිර රැකියාවක් ඇති නිසා බැංකු වැනි අනෙකුත් ආයතන වලින් පිළිගැනීමක් ලැබේ. ඉඩමක් ගැනීමට, තමන්ගේම වාහනයක් ගැනීමට, ගෙයක් සාදා ගැනීමට ආදී දේ වලට මෙය මහත් පිටිවහලකි.කොටින්ම තමන්ට සමාජයේ පිළිගත් රැකියාවක් ඇති බව ඔවුන්ට ඔප්පු කිරීමට පහසුවෙන් හැකියාවක් ලැබේ.කොටින්ම කියනවා නම් මෙහි සැළකිය යුතු කාන්තාවන් ප්‍රමාණයක් බස් රත ධාවනයේ යෙදේ. සම අවස්ථාව කතාවට පමණක් සීමා නොකොට ක්‍රියාවටද නංවා ඇත.


    තවත් විශේෂිතම දෙයක් වන්නේ බස් රථ කර්මාන්තය සහ දුම්රිය කර්මාන්තය එකිනෙකා කම්ප්ලිමන්ට් කරනවා මිස එකිනෙකා සමග කම්පිටිශන් එකක් ඇති කරගෙන නැත. එනම් රෙසිඩෙන්ෂල් ඒරියා වලින් ආරම්භ වන බස් රථ ඒවා ප්ලෑන් කර යොමු කර ඇති දුම්රිය ස්ථාන අසළින් අවසන් වීමත් ආරම්භ වීමත් සිදු කරයි. ඉන්පසු මගීන් එතැන් සිට ගමනාන්තයට යන්නෙ බොහෝ විට දුම්රියෙනි. මෙමගින් බස් කර්මාන්තය මෙන්ම දුම්රිය කර්මාන්තයද මැනවින් ආරක්ෂා වේ. දුම්රියේදී භාවිතා වන්නෙද කළින් සඳහන් කළ පෙර ගෙවුම් කාඩ්පතමය. අනවශ්‍ය ලෙස බස් රථ මහාමාර්ග වලින් නගරයට නොඇදෙන නිසා ට්‍රැෆික්ද සැළකිය යුතු ලෙස අඩු වේ.


    මගීන්ට ඇති අනෙක් පහසුකම වන්නෙ ගමනාන්තය දැමූ විට බස් රථ කාල සටහන දිස්වෙන මොබයිල් ඇප් එක සහ ඔන්ලයින් ඇප් එකයි. කුමන බස් රථ නැවතුම දක්වා පයින් යා යුතුද, ඒ සඳහා ගතවන කාලය සහ දුර, ලබාගත යුතු බස් රථයේ අංකය, බැසිය යුතු ස්ථානය, නැවත දුම්රියක් ගත යුතු නම් ඒ සඳහා විසතර, ට්‍රෑම් එකක යා යුතු නම් ඒ සියලු විස්තරද මේවායෙ දැක්වේ. ගූගල් මැප් භාවිතා කළද මේ සියළු ත්හොරතුරු දැනගත හැක. මෙය මගීන්ට ඉතා පහසුවකි. ඊට අමතරව මෙම ඇප් ලිවීම සහ ඒවා පවත්වාගෙන යාමද කාට හෝ රැකියාවන් උත්පාදනය කරයි. මෙමගින් තම ගමන පිළිබඳ නිවැරදි තොරතුරු තනිවම අපහසුවකින් තොරව සොයාගත හැකිවා මෙන්ම කල් තියා සූදානම් වීමද කාලය ඉතුරු කරගැනීමද කළ හැක.


    පෙර ගෙවුම් කාඩ් පත ගැනද තවත් යමක් කිව යුතුය. ශිෂ්‍ය ප්‍රජාව, රැකියා වියුක්තිකයන්, සහ ජ්‍යේෂ්ඨ පුරවැසියන් ආදි විවිධ අයවළුන්ට විශේෂිත කාඩ් පත් ඇත. ඒවා ඔවුන්ගේ සමාජ ආර්ථික තත්වයන් අනුව ක්‍රියාත්මක වේ. මේ සියළු සිස්ටම් වල අඩුපාඩු නැත්තේ නොවේ. එහෙත් සමස්ථයක් ලෙස මේ ක්‍රම ප්‍රශංසා කළ යුතුය. මේ නිසා බස් රථ වල මගීන්ගේ ඇඟට කඩා පනින කොන්දොස්තර කෙනෙක් නැත. බොහෝ බස් රථ සාමාන්‍ය දුරක් ගමන් කරන නිසා අධික ලෙස මගීන් පටවා නොගනියි. යම් බස් රථයකට මගීන් නංවාගත නොහැකි නම් රියදුරු මහතා හෝ මහත්මිය ඒ බව රේඩියෝ දුරකථන මගින් පාළන මැදිරියට දන්වා සිටියි. නැතහොත් මගීන්ට මේ බව ඔන්ලයින් හෝ ලිඛිත ක්‍රම මගින් දැනුම් දිය හැක. එවිට ඒවා සොයා බලා වැඩිපුර බස් රථ යෙදවීමට කටයුතු කෙරේ.


    මගීන් බොහෝ දෙනෙක් භාවිතා කරන නිසා බස් රථ වලට පාරේ ප්‍රමුඛතාවය හිමි වේ. බොහෝ ස්ථාන වල වෙනම බස් මංතීරු ඇත. මේ හේතූන් නිසා බස් රථයේ ගමනක් යාම පුද්ගලික වාහනයක යනවාට වඩා ඉක්මන්, සුව පහසු(බොහෝ දෙනා පොතක් කියවීමට, පත්තරය බැලීමට, හෝ තම තමන්හෙ දුරකථනය හෝ වෙනත් උපාගයක් භාවිතා කිරීමට මේ කාලය යොදවයි) සහ ලාභදායී වී ඇත.


    මදක් නැවතී සිතා බැළුවාම මේවායින් බහුතරයක් ලංකාවේ ක්‍රියාත්මක කිරීම පහසුවෙන් කළ හැකිය. ඒ සඳහා මානව සම්පතා ඕනෑ හැටි ලංකාවේ තිබේ. අවශ්‍ය වන්නෙ ආකල්පමය වෙනසකි. මුදල් වැය වන පෙරගෙවුම් සිස්ටම් එක වැනි දේ සඳහා භාවිතා කළ හැකි වෙනත් ක්‍රම යෝජනා මම මාධ්‍ය මගින් දුටුවෙමි. ඒ සඳහා ජංගම දුරකථන භාවිතා කළ හැකි අයුරු සංවාදයක් පසුගිය කාලයේ තිබුනේය. මේ මගින් මුදල් කප්පම් ගැනීම් වැනි දේ ද අවම කළ හැක.


    මගීන්ගේ ජීවිත් බිල්ලට ගන්නා බස් රේස් නැත්තටම නැති වේ. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට, ආබාධිත අයට, කුඩා ළමුන්ට, කාන්තාවන්ට කාගේවත් අකටයුතුකම් වලට අතවරයන්ට ලක් නොවී ඕනෑම වේලාව සුව පහසුව බස් රථයක යාමට හැකියාව ලැබේ. මාර්ග නීති උල්ලංගනයද අවම වේ. කොටින්ම මිනිස් ජීවිත වලට වටිනාකමක් ලැබෙන අතර ජීවන තත්වයම උසස් වනවා යයි මට සිතේ. අපෙ ජීවිත වලට ආලෝකයක් එකතු කරගැනීමට මේවා අපට කළ හැකි දේවල් බව මගේ හැඟීමයි. එක රැයකින් මේ දේවල් වෙනස් කළ නොහැකි වුනත් සෙමින් සෙමින් හෝ මේවා කරන්නට තිබුනා නම් මහත් සැනසීමක් වනු ඇත.


    අපි ඉන්දියාවට චීනයට සිනහසුනාට ඔවුන් සෙමින් සෙමින් මේ දුර ගමන යාම අරඹා ඇත. ඒ පිළිබඳ තොරතුරු ඕනෑ තරම් අන්තර්ජාලයෙන් සොයාගත හැක. ලංකාවත් ඔවුන් සමග හරිහරියට ඉදිරියට යා යුතුය. මොකද ඉතිහාසයේ පටන්ම අපි ඔවුන් හා උරෙන් උර ගැටී උසස් ජාතියක් ලෙස ජීවත්ව සිට ඇත. අපේ නැතිවූ ගමන අප විසින්ම සොයා ගත යුතුය.

    Saturday, January 13, 2018

    රුසියාව, ජපානය, චීනය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ සිහින

    මේවා කොහේ හෝ ලියලා තිබ්බහම වැඩක් ඇත්දැයි මට අනේක වාරයක් සිතී තිබේ. කියනවාට වඩා කරළා පෙන්නුවානම් හොඳය. ඒත් මේ කියන ඒවා කරන්නට තරම චරිතයක් මට නැත. කාර්ල් මාර්ක්ස් ගේ දර්ශනය මම ෆලෝ නොකලත් ඇතැම් විට ඔහුටත් මේකම සිතෙන්නට ඇත (මම මාර්ක්ස් වෙන්නට යනවා නොවේ). ඔහු ලියා තැබූ ඒවා වසර සියගාණකට පසුත් ඇතැම්හු කරන්නට උත්සාහ කරනවා පෙනේ. ඒක නිසා නිකා ඉන්නට බැරි කමට මට හිතෙන දේවල් ලියන්නට ඕනා යයි මම සිතුවෙමි. ඇතැම්විට අහම්බෙන් හෝ වැදගත් කෙනෙක් මේවායින් එක් අදහසක් හෝ ගත්තොත් කියා මට සිතුනි.

    ලංකාවේ එදිනෙදා අහිංසක ජන ජීවිතය වඩා අර්ථවත්ව පවත්වාගෙන යාමට කළ හැකි සරළ දේවල් මට අනේකවාරයක් සිතී තිබේ. ඒවාට ලොකූ මුදලක් වැය නොවේ. බොහෝ විට ඒවායින් මුදල් කාලය ශ්‍රමය ඉතිරි වෙනවා යයි මගේ හැඟීමයි. ඒත් ඒවා කිරීමට අවශ්‍ය ලොකුම දේ අපි හිතන රටාවේ පරිණාමයක්. ඇටිටියුඩ් වෙනසක්. ඒක එකපාරටම කරන්න ලේසි නැහැ කියලා මට හිතෙනවා. අපිට එහෙම කරන්න පුළුවන් නම් මනුස්ස ජීවිතයට යම් යම් වටිනාකම් එකතු කරන්නට අපිට පුළුවන් වෙනවා. හරියට නිකම්ම තියන තේ වැලියු ඇඩඩ් ටී කරනවා වගේ.

    හැබැයි ඉතින් ඕනෙම දෙයක් බලන්න පුළුවන් විව්ධ කෝණ තියන නිසා මට හරි කියලා පේන දෙයක් තව කෙනෙක්ට වෙනස් විදියකට පෙන්න පුළුවන්. ඕනෙම දෙයක් සාපේක්ෂ නිසා. ඉතා මෑතකදි බලපු රුසියාවේ පීටර් අධිරාජ්‍යයා පිළිබඳ වැඩසටහනක් සහ ජපන් අධිරාජ්‍යයා පිළිබඳව කියවපු විවිධ තොරතුරු වලින් මට හිතුනා අපේ සිතන ක්‍රමයේ වෙනසක් වුනා නම් ලංකාවට බොහෝ උසස් ජීවන තත්වයකට යන්නට පුළුවන් කියලා මට හිතුනා. ඉන්දියාව, දකුණු ඇමරිකානු රටවල්, ගැන විවිධ අවස්ථාවන්හි කියවන්නට ලැබුනු තොරතුරු සහ ඔස්ට්‍රේලියාවේ ලද යම් අත්දැකීම් නිසා මට හිතෙන්නට පටන් ගත්තා අනේ අපේ රටේ මිනිස්සුන්ටත් මෙහෙම ජීවිතය විඳින්නට ලැබුනා නම් කියලා. ලාංකිකයන්ගෙන් ඒ අවස්ථාව හොරාගෙන තියෙන්නෙ අපේම නොසැළකිල්ලෙන් කියලා මට හිතෙන්නට පටන් ගත්තා.

    මට හිතෙනවා අපිත් ලෝකය මෙන්න මෙහෙම දකින්න පටං ගත්තා නම් ජීවිතයට මීට වඩා අරුතක් එකතු කරගන්න පුළුවං වෙයි කියලා. පීටර් අධිරාජ්‍යයා ඔටුන්න හිමි කුමාරයෙක් කාළෙම හිතා ගන්නවා රුසියාව ලොකු තැනකට ගේනවා කියලා. එයා යනවා යුරෝපෙ සංචාරයක්. මොකද ඒ කාළෙ (මේ මම හිතන්නෙ එක්දාස් හයසිය ගනන් වල) යුරෝපෙ තමා කාර්මීකරණයත් එක්ක නැගගෙන එන්නෙ. එයා යනවා ප්‍රංෂෙට, එංගලන්තෙට. ගිහින් බලනව මොකෝ වෙන්නෙ අපිට මේවායින් ගන්න පුළුවං මොනාද කියලා. එංගලන්තෙ ලෝකෙට අණසක පතුරවනව යුධමය වශයෙන් සහ සාර්ථිකමය වශයෙන් හොඳ නැවු සමූහයක් හදාගෙන. එයා දැනගන්නවා ලෝකේ මේ යන විදියට නැවු නැතුව මුකුත් කරන්න බෑ කියලා. ඔටුන්න හිමි කුමාරයා රජ සැප පැත්තක දාලා නැවු හදන මිනිස්සු එක්ක හරි හරියට නැවු හදනවා. එයාගෙ අරමුණ වැඩේ වෙන හැටි දැනගන්න එක. එයා රජ කොන්ටැක්ට් පාවිච්චි කරන්නෙ ඒ තැන් වලට එන්ටෙර් වෙන්න ඉතරයි. ඒවයේ ලොක්කෙක් වෙන්න එයා ඒවා පාවිච්චි කරන්නෙ නෑ. හවසට බොන්නෙ අර සාමාන්‍ය වඩුවො එක්ක. එයාගෙ යාළුවෝ සාමාන්‍ය වඩුවො. ඒ අස්සෙ රුසියාවෙ කැරැල්ලක්. එයාට මවු රටට යන්න වෙනවා මේක මැඩපවත්වන්න. එයා ගිහින් ඒ වැඩ ටික කරනවා. එයා දැං දන්නවා යුරෝපෙ තත්වෙ. ලෝකෙ මොන දිසාවටද යන්නෙ කියල දන්නවා. ඒත් රුසියාව වෙනම ලෝකෙක තියෙන්නෙ. දුප්පත් ගොවියො. ඇඳුම පැළඳුමේ ඉඳලා ආර්ථිකය හිතන පතන විදිය හිටං ලෝකෙ යන පැත්තට නෙවෙයි යන්නෙ. පීටර් දැං රජ වෙලා. එයා තීරණේ කරනවා සංස්කෘතික කාර්මික විප්ලවයක් කරළා රුසියාව ගොඩ දැම්මෙ නැත්තං අර පරිණාමවාදෙ කියනවා වගේ පරිණාමයට අනුගත නොවෙච්ච සත්තු ටික වගේ රුසියාවත් නැත්තට නැති වෙනවා කියලා. යුරෝපෙ ගෙඩි පිටිං කොපි කරන්නෙ නැතුව එයා මිනිස්සුන්ගේ රැවුල් කට් එක, තොප්පිය, සූට් එකේ ඉඳලා පෙනුම ෂේප් එකේ වෙනස් කරනව කාටත් නොදැනෙන්න. ලොක්කො ටික ස්ටයිල් එක මාරු කළාම සාමාන්‍ය මිනිස්සුත් සටයිල් එක මාරු වෙනවා. මොකද පීටර්ට තේරෙනවා බැලූ බැල්මට රුසියාවට ආපු කෙනෙක්ට හිතෙනවා කියලා මෙහෙ මිනිස්සු හරි ප්‍රාථමිකයි කියලා. ඊට පස්සෙ පීටර් රජතුමා එයාගෙ අතිජාත වඩු යාළුවන්ට රුසියාවට එන්න කියනවා. නැවු හදලා රුසියාවේ ලෝක වෙලඳපොළේ කොටස අල්ලගන්න. මොකද ලෝක ආර්ථිකේ යන්නෙ ඒ පැත්තට නිසා. යාළුවෝ එනවා උදවුවට. දැං හරි ප්‍රශ්නෙ. රුසියාවට මුහුදට යන්න පාරක් නෑ. යුරෝපෙ පැත්තට. ජීවිත දාස් ගානක් බිල්ලට දීලා එයා සෙන්ට් පීටර්ස්බර්ග් ළඟින් මුහුදට එන්ට්‍රන්ස් හදා ගන්නවා. එතනත් ඉස්සර කෝට්ටෙ වගේ එකම මුඩු බිමක්ලු. තව ජීවිත් දාස් ගානක් වැය කරළා එයා එතන වරාය නගරයක් හදනවා. එතනම ඉස්සරහා නෝර්වේ. ඒ කාළෙ මුහුදේ හයිරංකාරයෝ. නෝර්වේ නාවික හමුදාව එක්ක හැප්පිලා එයා නෝර්වේ වල ගෑස් බස්සලා රුසියාවට තැනක් අරං දෙනවා ආර්ථිකේ නව ලෝකෙට ගැලපෙන විදියට හදා ගන්න. පීටර් අධිරාජ්‍යයාට සමහරු දොස් කියනවා. මිනිස්සුන්ට සේවය කරන්න කියලා එයා මිනිස්සුන්වම දාස් ගානක් බිලි දුන්නා කියලා. එයාට පස්සෙ ආපු අධිරාජිනිය තමා මේ නගරෙට සෙන්ට් පීටර්ස්බර්ග් කියලා නම දාන්නෙ. රුසියාව මුළු ලෝකෙත් එක්කම කරට කර ඉන්න රටක් බවට පත්කරන්න මූලික අඩිතාලම දැම්මෙ පීටර් අධිරාජ්‍යයා කියලා තමා සාමාන්‍ය හැඟීම.මට හිතෙනවා පීටර් අධිරාජ්‍යයාගෙ තිබ්බ දැක්ම අපෙන් ගිලිහුනා කියලා යම් තැනකදි.

    පීටර් අධිරාජ්‍යයාගෙයි ලංකාවේ මුල් කාල වල හිටපු රජවරුන්ගෙයි සමානකමක් මට හිතෙනවා. රෝමෙ, ග්‍රීසිය, පර්සියාව, ඉන්දියාව ආදී කාලෙදි ලෝකෙ එකම තලයක තිබුනා කියලා මට හිතෙනවා. ආර්ථිකමය සහ සාමාජීය අතින්. ඉන්දියාව හරහා ලංකාවේ සමාජය සහ ආර්ථිකයත් ඒ තලයේම හරි හරියට තිබ්බ කියලයි මම හිතන්නෙ. රෝමය ක්‍රමයෙන් බහිනකොට යුරෝපේ ක්‍රමිකව ඉහළට ආවා. අපිට ආපු අනපේක්ෂිත යුරෝපා ආක්‍රමණ වලින් බැට කෑම නිසා ලංකාව ලෝකෙත් එක්ක හරි හරියට ඉස්සරහට යන එක නැවතුනා කියලා මට හිතෙනවා. එතනතමා රුසියාව වෙනස් වුනේ. ඉතිහාසය අතිං මට හිතෙනවා ලංකාවත් ජපානෙ වගේ. අනන්‍ය සංස්කෘතියක් තියනවා අවුරුදු දාස් ගානකට එහා යන. ඒත් ජපානෙ නව ලෝක ආර්ථික රටා තමන්ට ඕනෙ විදියට උකහා ගත්ත කියලා මට හිතෙනවා. ඒ පරිණාමය වෙනුවට හොඳට හෝ නරකට අපි අවස්ථාවාදී විදියට මේ ක්‍රම හඳුන්වාදීපු යුරෝපීයන්ට බැන අඬගසමින් හෙළාදැකීමට කාලය වැය කළා මිසක් ඒ ක්‍රම අපේ ජීවිත උසස් තත්වයකට ගෙන ඒමට කොහොම හසුරවාගන්න ඕනෙදැයි කියල සොයා බැලුවා මදි කියලා මට හිතෙනවා. අතීතකාමයේ ඇළුනු වෙලාවල් වල අපි අපෝ අපි දියුණු ඒ කාලෙ සුද්දො වනචාරී විදියට හිටියේ කියා නිග්‍රහ කරනවා මම ඕනෑ තරම අසා තිබෙනවා. එය ඇත්තක් වෙන්නට පුළුවන්. අපි ඊජීප්තු ජාතිකයෙක් සමග කතා කලොත් අපි ගැන ඔහුත් එසේ කියන්නට බැරි නෑ. මම හිතනවා චීනේ, ඉන්දියාව, සහ ජපානෙ මේ මානසිකත්වයෙන් ඔබ්බට ගිහින් ආපු කරදරේ ආශිර්වාදයක් කරගෙන තියනවා කියලා. ලෝකෙ හැමදේම හොඳ නරක තියනවා. ඉතිං පරණ ක්‍රමේ වගේම මේ අළුත් ක්‍රමේත් සේරම හොඳත් නෑ සේරම නරකත් නෑ. ඒත් පෙරළෙන විදියට අපිට මීට වඩා මේ තියන සම්පත් වලින්ම ස්මාර්ට් වෙන්න පුළුවන් කියලා මටහිතෙනවා. ඉතිං මට හිතෙන එහෙම කතා ටිකක් කැමති කෙනෙක්ට කියවලා අදහස් බෙදා ගන්න තමා මගේ ප්‍රයත්නය.ප්‍රවාහනය, අධ්‍යාපනය, රැකී රක්ෂා, එදිනෙදා ජීවිතය වගේ මට තේරෙන තරමට අදහස් ටිකක් ලියලා තියන්න තමා මගේ හිත.