Saturday, January 13, 2018

රුසියාව, ජපානය, චීනය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ සිහින

මේවා කොහේ හෝ ලියලා තිබ්බහම වැඩක් ඇත්දැයි මට අනේක වාරයක් සිතී තිබේ. කියනවාට වඩා කරළා පෙන්නුවානම් හොඳය. ඒත් මේ කියන ඒවා කරන්නට තරම චරිතයක් මට නැත. කාර්ල් මාර්ක්ස් ගේ දර්ශනය මම ෆලෝ නොකලත් ඇතැම් විට ඔහුටත් මේකම සිතෙන්නට ඇත (මම මාර්ක්ස් වෙන්නට යනවා නොවේ). ඔහු ලියා තැබූ ඒවා වසර සියගාණකට පසුත් ඇතැම්හු කරන්නට උත්සාහ කරනවා පෙනේ. ඒක නිසා නිකා ඉන්නට බැරි කමට මට හිතෙන දේවල් ලියන්නට ඕනා යයි මම සිතුවෙමි. ඇතැම්විට අහම්බෙන් හෝ වැදගත් කෙනෙක් මේවායින් එක් අදහසක් හෝ ගත්තොත් කියා මට සිතුනි.

ලංකාවේ එදිනෙදා අහිංසක ජන ජීවිතය වඩා අර්ථවත්ව පවත්වාගෙන යාමට කළ හැකි සරළ දේවල් මට අනේකවාරයක් සිතී තිබේ. ඒවාට ලොකූ මුදලක් වැය නොවේ. බොහෝ විට ඒවායින් මුදල් කාලය ශ්‍රමය ඉතිරි වෙනවා යයි මගේ හැඟීමයි. ඒත් ඒවා කිරීමට අවශ්‍ය ලොකුම දේ අපි හිතන රටාවේ පරිණාමයක්. ඇටිටියුඩ් වෙනසක්. ඒක එකපාරටම කරන්න ලේසි නැහැ කියලා මට හිතෙනවා. අපිට එහෙම කරන්න පුළුවන් නම් මනුස්ස ජීවිතයට යම් යම් වටිනාකම් එකතු කරන්නට අපිට පුළුවන් වෙනවා. හරියට නිකම්ම තියන තේ වැලියු ඇඩඩ් ටී කරනවා වගේ.

හැබැයි ඉතින් ඕනෙම දෙයක් බලන්න පුළුවන් විව්ධ කෝණ තියන නිසා මට හරි කියලා පේන දෙයක් තව කෙනෙක්ට වෙනස් විදියකට පෙන්න පුළුවන්. ඕනෙම දෙයක් සාපේක්ෂ නිසා. ඉතා මෑතකදි බලපු රුසියාවේ පීටර් අධිරාජ්‍යයා පිළිබඳ වැඩසටහනක් සහ ජපන් අධිරාජ්‍යයා පිළිබඳව කියවපු විවිධ තොරතුරු වලින් මට හිතුනා අපේ සිතන ක්‍රමයේ වෙනසක් වුනා නම් ලංකාවට බොහෝ උසස් ජීවන තත්වයකට යන්නට පුළුවන් කියලා මට හිතුනා. ඉන්දියාව, දකුණු ඇමරිකානු රටවල්, ගැන විවිධ අවස්ථාවන්හි කියවන්නට ලැබුනු තොරතුරු සහ ඔස්ට්‍රේලියාවේ ලද යම් අත්දැකීම් නිසා මට හිතෙන්නට පටන් ගත්තා අනේ අපේ රටේ මිනිස්සුන්ටත් මෙහෙම ජීවිතය විඳින්නට ලැබුනා නම් කියලා. ලාංකිකයන්ගෙන් ඒ අවස්ථාව හොරාගෙන තියෙන්නෙ අපේම නොසැළකිල්ලෙන් කියලා මට හිතෙන්නට පටන් ගත්තා.

මට හිතෙනවා අපිත් ලෝකය මෙන්න මෙහෙම දකින්න පටං ගත්තා නම් ජීවිතයට මීට වඩා අරුතක් එකතු කරගන්න පුළුවං වෙයි කියලා. පීටර් අධිරාජ්‍යයා ඔටුන්න හිමි කුමාරයෙක් කාළෙම හිතා ගන්නවා රුසියාව ලොකු තැනකට ගේනවා කියලා. එයා යනවා යුරෝපෙ සංචාරයක්. මොකද ඒ කාළෙ (මේ මම හිතන්නෙ එක්දාස් හයසිය ගනන් වල) යුරෝපෙ තමා කාර්මීකරණයත් එක්ක නැගගෙන එන්නෙ. එයා යනවා ප්‍රංෂෙට, එංගලන්තෙට. ගිහින් බලනව මොකෝ වෙන්නෙ අපිට මේවායින් ගන්න පුළුවං මොනාද කියලා. එංගලන්තෙ ලෝකෙට අණසක පතුරවනව යුධමය වශයෙන් සහ සාර්ථිකමය වශයෙන් හොඳ නැවු සමූහයක් හදාගෙන. එයා දැනගන්නවා ලෝකේ මේ යන විදියට නැවු නැතුව මුකුත් කරන්න බෑ කියලා. ඔටුන්න හිමි කුමාරයා රජ සැප පැත්තක දාලා නැවු හදන මිනිස්සු එක්ක හරි හරියට නැවු හදනවා. එයාගෙ අරමුණ වැඩේ වෙන හැටි දැනගන්න එක. එයා රජ කොන්ටැක්ට් පාවිච්චි කරන්නෙ ඒ තැන් වලට එන්ටෙර් වෙන්න ඉතරයි. ඒවයේ ලොක්කෙක් වෙන්න එයා ඒවා පාවිච්චි කරන්නෙ නෑ. හවසට බොන්නෙ අර සාමාන්‍ය වඩුවො එක්ක. එයාගෙ යාළුවෝ සාමාන්‍ය වඩුවො. ඒ අස්සෙ රුසියාවෙ කැරැල්ලක්. එයාට මවු රටට යන්න වෙනවා මේක මැඩපවත්වන්න. එයා ගිහින් ඒ වැඩ ටික කරනවා. එයා දැං දන්නවා යුරෝපෙ තත්වෙ. ලෝකෙ මොන දිසාවටද යන්නෙ කියල දන්නවා. ඒත් රුසියාව වෙනම ලෝකෙක තියෙන්නෙ. දුප්පත් ගොවියො. ඇඳුම පැළඳුමේ ඉඳලා ආර්ථිකය හිතන පතන විදිය හිටං ලෝකෙ යන පැත්තට නෙවෙයි යන්නෙ. පීටර් දැං රජ වෙලා. එයා තීරණේ කරනවා සංස්කෘතික කාර්මික විප්ලවයක් කරළා රුසියාව ගොඩ දැම්මෙ නැත්තං අර පරිණාමවාදෙ කියනවා වගේ පරිණාමයට අනුගත නොවෙච්ච සත්තු ටික වගේ රුසියාවත් නැත්තට නැති වෙනවා කියලා. යුරෝපෙ ගෙඩි පිටිං කොපි කරන්නෙ නැතුව එයා මිනිස්සුන්ගේ රැවුල් කට් එක, තොප්පිය, සූට් එකේ ඉඳලා පෙනුම ෂේප් එකේ වෙනස් කරනව කාටත් නොදැනෙන්න. ලොක්කො ටික ස්ටයිල් එක මාරු කළාම සාමාන්‍ය මිනිස්සුත් සටයිල් එක මාරු වෙනවා. මොකද පීටර්ට තේරෙනවා බැලූ බැල්මට රුසියාවට ආපු කෙනෙක්ට හිතෙනවා කියලා මෙහෙ මිනිස්සු හරි ප්‍රාථමිකයි කියලා. ඊට පස්සෙ පීටර් රජතුමා එයාගෙ අතිජාත වඩු යාළුවන්ට රුසියාවට එන්න කියනවා. නැවු හදලා රුසියාවේ ලෝක වෙලඳපොළේ කොටස අල්ලගන්න. මොකද ලෝක ආර්ථිකේ යන්නෙ ඒ පැත්තට නිසා. යාළුවෝ එනවා උදවුවට. දැං හරි ප්‍රශ්නෙ. රුසියාවට මුහුදට යන්න පාරක් නෑ. යුරෝපෙ පැත්තට. ජීවිත දාස් ගානක් බිල්ලට දීලා එයා සෙන්ට් පීටර්ස්බර්ග් ළඟින් මුහුදට එන්ට්‍රන්ස් හදා ගන්නවා. එතනත් ඉස්සර කෝට්ටෙ වගේ එකම මුඩු බිමක්ලු. තව ජීවිත් දාස් ගානක් වැය කරළා එයා එතන වරාය නගරයක් හදනවා. එතනම ඉස්සරහා නෝර්වේ. ඒ කාළෙ මුහුදේ හයිරංකාරයෝ. නෝර්වේ නාවික හමුදාව එක්ක හැප්පිලා එයා නෝර්වේ වල ගෑස් බස්සලා රුසියාවට තැනක් අරං දෙනවා ආර්ථිකේ නව ලෝකෙට ගැලපෙන විදියට හදා ගන්න. පීටර් අධිරාජ්‍යයාට සමහරු දොස් කියනවා. මිනිස්සුන්ට සේවය කරන්න කියලා එයා මිනිස්සුන්වම දාස් ගානක් බිලි දුන්නා කියලා. එයාට පස්සෙ ආපු අධිරාජිනිය තමා මේ නගරෙට සෙන්ට් පීටර්ස්බර්ග් කියලා නම දාන්නෙ. රුසියාව මුළු ලෝකෙත් එක්කම කරට කර ඉන්න රටක් බවට පත්කරන්න මූලික අඩිතාලම දැම්මෙ පීටර් අධිරාජ්‍යයා කියලා තමා සාමාන්‍ය හැඟීම.මට හිතෙනවා පීටර් අධිරාජ්‍යයාගෙ තිබ්බ දැක්ම අපෙන් ගිලිහුනා කියලා යම් තැනකදි.

පීටර් අධිරාජ්‍යයාගෙයි ලංකාවේ මුල් කාල වල හිටපු රජවරුන්ගෙයි සමානකමක් මට හිතෙනවා. රෝමෙ, ග්‍රීසිය, පර්සියාව, ඉන්දියාව ආදී කාලෙදි ලෝකෙ එකම තලයක තිබුනා කියලා මට හිතෙනවා. ආර්ථිකමය සහ සාමාජීය අතින්. ඉන්දියාව හරහා ලංකාවේ සමාජය සහ ආර්ථිකයත් ඒ තලයේම හරි හරියට තිබ්බ කියලයි මම හිතන්නෙ. රෝමය ක්‍රමයෙන් බහිනකොට යුරෝපේ ක්‍රමිකව ඉහළට ආවා. අපිට ආපු අනපේක්ෂිත යුරෝපා ආක්‍රමණ වලින් බැට කෑම නිසා ලංකාව ලෝකෙත් එක්ක හරි හරියට ඉස්සරහට යන එක නැවතුනා කියලා මට හිතෙනවා. එතනතමා රුසියාව වෙනස් වුනේ. ඉතිහාසය අතිං මට හිතෙනවා ලංකාවත් ජපානෙ වගේ. අනන්‍ය සංස්කෘතියක් තියනවා අවුරුදු දාස් ගානකට එහා යන. ඒත් ජපානෙ නව ලෝක ආර්ථික රටා තමන්ට ඕනෙ විදියට උකහා ගත්ත කියලා මට හිතෙනවා. ඒ පරිණාමය වෙනුවට හොඳට හෝ නරකට අපි අවස්ථාවාදී විදියට මේ ක්‍රම හඳුන්වාදීපු යුරෝපීයන්ට බැන අඬගසමින් හෙළාදැකීමට කාලය වැය කළා මිසක් ඒ ක්‍රම අපේ ජීවිත උසස් තත්වයකට ගෙන ඒමට කොහොම හසුරවාගන්න ඕනෙදැයි කියල සොයා බැලුවා මදි කියලා මට හිතෙනවා. අතීතකාමයේ ඇළුනු වෙලාවල් වල අපි අපෝ අපි දියුණු ඒ කාලෙ සුද්දො වනචාරී විදියට හිටියේ කියා නිග්‍රහ කරනවා මම ඕනෑ තරම අසා තිබෙනවා. එය ඇත්තක් වෙන්නට පුළුවන්. අපි ඊජීප්තු ජාතිකයෙක් සමග කතා කලොත් අපි ගැන ඔහුත් එසේ කියන්නට බැරි නෑ. මම හිතනවා චීනේ, ඉන්දියාව, සහ ජපානෙ මේ මානසිකත්වයෙන් ඔබ්බට ගිහින් ආපු කරදරේ ආශිර්වාදයක් කරගෙන තියනවා කියලා. ලෝකෙ හැමදේම හොඳ නරක තියනවා. ඉතිං පරණ ක්‍රමේ වගේම මේ අළුත් ක්‍රමේත් සේරම හොඳත් නෑ සේරම නරකත් නෑ. ඒත් පෙරළෙන විදියට අපිට මීට වඩා මේ තියන සම්පත් වලින්ම ස්මාර්ට් වෙන්න පුළුවන් කියලා මටහිතෙනවා. ඉතිං මට හිතෙන එහෙම කතා ටිකක් කැමති කෙනෙක්ට කියවලා අදහස් බෙදා ගන්න තමා මගේ ප්‍රයත්නය.ප්‍රවාහනය, අධ්‍යාපනය, රැකී රක්ෂා, එදිනෙදා ජීවිතය වගේ මට තේරෙන තරමට අදහස් ටිකක් ලියලා තියන්න තමා මගේ හිත.

No comments:

Post a Comment